අලුයම තුන පසු වී විනාඩි තිහ පසුවනවාත් සමඟ ම ඒ ඇසෙණුයේ දවසේ වැඩ ඇරඹීමේ සීනුව යි. එයට කීකරු වූ අම්මා ලිප ගිනි මෙලවූයේ ඇයගේ රාජකාරිය ඇරඹීම සංකේතවත් කිරීමට මෙනි. තත්පරෙන් තත්පරය ඉලක්කම් 12 වෙත දිවෙන තත්පර කටුව පිටුපසින් දිවයන විනාඩි කටුවත් පැය කටුවත් කාලය පිළිබඳ මවට පැවසීමේ දී ගෙදර ඇති වන්නේ එක ම යුද්ධයකි.
" ලොකු පුතා... "
"කෝ මේ ළමයා... ඉක්මන් කරන්න පුතේ පරක්කු වෙනවා..."
"අප්පච්චිට කියන්නකො ඔයාලගේ රෙදි ටික අයන් කරලා දෙන්න කියලා..."
"අනේ පුතේ මල්ලි නැගිට්ටෙ නැද්ද තවම. මල්ලිටත් නැගිට්ටවන්න කෝ... හයයි වෙලාව හයයි තිහට බස් එක එනවා... අද ඉස්කෝලේ යන්නේ නැද්ද? "
වෙනදා මෙන් අම්මාගේ සුපුරුදු හඬ පටිය ක්‍රියාත්මක විය.
වැඩට යන්න සූදානම් වෙමින් සිටි අප්පච්චිගේ හඬ ඇසුණේ ඒ සමඟම ය.
" ඔයාට මම හැමදාම කියනවා කලින් දවසේ රෑ ළමයින්ගේ වැඩ ටිකත් ඉවර කරලා තියන්න කියලා. රෑට රෙදි ටික මැදලා, පොත් බෑග් එක හදලා, සපත්තු පොලිෂ් කරලා තිබුණනම් උදේට මේ තරම් කලබලයක් නෑනේ..."
අප්පච්චිට කියන්න ලැබුණේ එපමණකි. ඉතිරි වචන ටික කියන්නට ඉඩ නොදුන් අම්මා නැවතත් තම හඬ අවදි කළා ය.
" මට පුළුවන් ද මේ වැඩ ඔක්කොම කරන්න..."
" මටත් තියෙන්නේ අත් දෙකයි."
" මමත් නිකන් ගෙදර ඉන්නවා නෙමෙයිනෙ.."
" උදේ ඉඳලා අර මැෂින් එක්ක ඔට්ටුවෙලා ඇවිත් ගෙදර වැඩ ටිකත් ඉවර කරනකොට මට තව රෑට ඔය වැඩ ටිකත් කරන්න වෙලාවක් තියෙනව ද? "
" මේ ළමයින්ට බැරි ඇයි තමන්ගේ වැඩ ටික කරගන්න.. "
"මෙයාලාත් දැන් පොඩි ළමයි නෙවෙයිනේ..."
අම්මාගේ පිළිතුර නිශ්ශබ්ද ව අසා සිටි අප්පච්චී,
" හරි හරි.. මම ඊයේ රෑ ඒ වැඩ ටික කළා... උදේට තියෙන යුද්ධය මං දන්නවනෙ ඉතින්... දැන් ළමයින්ට කෑ ගහන්න එපා. මමත් යනව එහෙනම්... අද එද්දි ටිකක් රෑ වෙයි."
පවසා වැඩට යාමට සූදානම් විය.
" ඔයා තමයි මේ ළමයි නරක් කරන්නේ, ඕනවට වඩා හුරතල් කරලා..."
"හරි හරි..පරිස්සමින් ගිහින් එන්න..."
අප්පච්චි පිටත් කළ පසුව අම්මා අප දෙදෙනා සූදානම් කර, මගෙත් මල්ලීගෙත් නළලත සිඹ මගේ පුතාලට බුදුසරණයි! ලෙස ආශිර්වාද කර, අප දෙදෙනා පාසල් බසයට නග්ගවා ගෙදර ඉතිරි වැඩ ටිකත් කඩිමුඩියේ සිදු කර විනාඩි දහයට පහළවට මොකක් හරි ඇඳුමක් පටලවාගෙන තම රාජකාරියට පිටත්ව යයි.
හවස පහ පමණවන විට පඩි සහිත රාජකාරියෙන් මිදී පඩි රහිත රාජකාරියට වාර්තා කිරීමට පෙර අම්මා අත්තම්මලාගේ ගෙදරට එන්නේ පාසල් ඇරී අත්තා සමඟ එහි පැමිණෙන මාත් මල්ලීත් ගෙදර එක්කරගෙන යාමට ය...
"කෝ මගේ පැටවු දෙන්නා..."
හවස් වනවාත් සමඟ ම අම්මාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින මමත් මල්ලීත් එම වදන ඇසුණු සැණින් අම්මා වෙත දිව යන්නේ වැඩ ඇරී එන අම්මාගේ අතේ තියෙන කඩසෝරු මල්ල මුලින් ම තමන්ගේ අතට ගැනීමේ අටියෙනි.
"එහෙනම් දැන් යමු නේද...බඩු ටික එහෙම අරන් ලෑස්ති කරගන්නකෝ..." කඩසෝරු මල්ල අපේ අත් මත තැබීමත් සමඟ ම ඔලුව අතගාමින් අම්මා එසේ පවසන්නේ අප්‍රාණික වූ ස්වරයකිනි.
"අම්මේ....ළමයි දෙන්නා වද දුන්නේ නෑ නේද..." ඒත් සමඟ ම එතනට පැමිණෙන අත්තම්මා දෙස බලමින් අම්මා පවසයි...
"මොන වදයක් ද දරුවෝ... අපි ඔය ළමයි දෙන්නා වඩාගෙන ඉන්නවා යැ... ළමයි දෙන්නා ඉන්න එක අපිටත් සතුටක්... උන් දෙන්නා නැති දවසට මේ ගේ ම පාළුයි..."
ඒ අත්තම්මාගේ පිළිතුර යි... මමයි මල්ලියි එහෙ ඉන්නෙත් හරි ම කැමැත්තෙන්... අපි දෙන්නත් ගෙදර ඉන්නවට වඩා කැමති අත්තම්මලාගේ ගෙදර ඉන්න....
.........................................................................