Saturday, 29 January 2022

බැද්දේගම නවකතාව ඇසුරින්,


 බැද්දේගම නවකතාව පාඨක සිත් තුළ සානුකම්පිත හැඟීම් ජනිත කරමින් චරිත නිරූපණයවන අන්දම පිළිබඳ විචාරයක්...

           ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල වෙසෙන ගම්බද ජනයාගේ ජීවිතය හා චරිතය විනිවිද දකිමින් ඉතාමත් විශිෂ්ට නවකතාවක් ලෙස ඉදිරිපත් වූ 'The village in the jungle' නමැති කෘතිය 1913 දී ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කරන ලදි. 'බැද්දේගම' යනු මෙහි සිංහල පරිවර්තනය යි. මෙම නවකතාව බැද්දේගම නමින් සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ඒ.පී. ගුණරත්නයන් විසිනි. මෙම නවකතාව සිංහල ජන ජීවිතය ඇසුරුකොටගෙන ලියන ලද නවකතාවකි.

             ඝන වනරොදකින් වට වූ පිටිසර ගම්මානයක ආර්ථික පීඩා ද විවිධ ලෙඩ රෝගයන් ද විඳදරාගනිමින් දුක්ඛිත ජීවිතයන්ට මුහුණ දෙන ගැමි ජනතාවගේ චරිතයන් මෙම නවකතාකරු කතා විශ්වය තුළ මැනවින් විද්‍යමාන කරයි. එසේ ම චරිත නිරූපණය කිරීමේ දී නවකතාව කියවන පාඨකයාගේ සිත තුළ සානුකම්පිත බවක් ජනිත කරවීම මෙම නවකතාව තුළ පවතින විවිශේෂත්වයක් ලෙස පෙන්වාදිය හැකි ය.

        බැද්දේගම නවකතාවෙහි ප්‍රධාන චරිතය වන්නේ සිලිඳු ය. සිලිඳගේ චරිතය තුළ ඇති අභ්‍යන්තර ගති ලක්ෂණ නිරූපණය කිරීමෙහිලා කතුවරයා තම අවධානය යොමු කර ඇති අන්දම නවකතාව අධ්‍යයනයේ දී අපට දැකගත හැකි ය. අභ්‍යන්තර චරිත නිරූපණය යනු චරිතයක අභ්‍යන්තර සිතුම් පැතුම් ආදිය හෙළි කිරීම යි. නියම චරිත නිරූපණය යනු අභ්‍යන්තර චරිත නිරූපණය යි. එහි දී චිත්ත චෛතසික ස්වභාවයන් හෙළි කිරීම සිදු වේ. තමාට පිරිමි දරුවෙකු ලබා නොදුන් බව කියමින් තම බිරිඳට බනිමින් හිසටත් පපුවටත් පහර දුන්නේ ය. පහත උද්ධෘතය තුළින් එය මනාව ධ්වනිත කරයි. 

''පරට්ටි ! පරට්ටි !! කෝ මට පුතෙක්? කෝ මගෙ තුවක්කුව උස්සාගෙන කැලේට යන්ට පුතෙක්? කෝ මගෙ හේන එළිකරවා ගන්ඩ   පුතෙක්? ගෙදර තියාගෙන කන්ඩ අඳින්ට හරිහම්බ කරන්ඩයි දෑවැද්ද ලෑස්ති කරන්ඩයි තී මට පරට්ටියො දෙනව ද? නොදකින් තී !''

                මෙසේ බනිමින් සිලිඳු ඩිංගිහාමිගේ හිසටත් පපුවටත් පහරදෙන්නට විය. දරුවන් ලැබුණු මවකට එදින ම ශාරීරිකව වදහිංසා කිරීම සමාජය අනුමත නො කරයි. නමුත් නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුණු ඩිංගිහාමිට සිලිඳු දැඩි ලෙස පහරදීම කතුවරයා නිරූපණය කරන්නේ සහෘදයාගේ සිත සසල කරවමිනි. සිලිඳුගේ චරිතය තුළ ඇති අභ්‍යන්තර ගතිලක්ෂණ මෙම නවකතාව තුළ නවකතාකරු පෙන්වාදී තිබෙන්නේ ඩිංගිහාමි පිළිබඳ පාඨක සිත් තුළ සානුකම්පිත හැඟීම් ජනිත කරවමිනි. එසේ ම හින්නිහාමි විවාහ කර ගැනීමට පුංචිරාළ ගෙනා යෝජනාව සිලිඳු විසින් ප්ප්‍රතික්ෂේප කිරීම නිසා සිලිඳුගේ පවුලට විවිධ කරදර බාධකවලට සිදු වූ අවස්ථාව කතුවරයා හින්නිහාමිගේ චරිතය ඔස්සේ මනාව නිරූපණය කර තිබේ. හින්නිහාමිව තම වසඟයට ලබාගත නොහැකි වූ පුංචිරාළ වෙදා ගැමියන් තුළ අමුතු හැඟීමක් ඇති කළේ ය. හින්නිහාමි යක්ෂණියක් බවත් ඇය වැදුවේ ළමයෙකු නොව මුව පැටියෙකු බවත් ඊට පසු මේ ගමට හොඳක් නො වුණු බවත් ඔහු ගැමියන්ට ඒත්තු ගැන්වී ය. ගැමියෝ වෙදරාළගේ අදහස් පිළිගත්හ. ඔවුන්ගේ මෝඩ විශ්වාස කොතරම් ද කිවහොත් මුවා යක්ෂයෙකු බවත් රාත්‍රියේ දී අලුත් මිනීවලවල් හාරා මිනී කන බවත් සමහරු කීහ. මේ අතර ආරච්චිගේ පුතා හදිසියේ ම මළේ ය. මේ ළමයාගේ මරණයට හේතුව හින්නිහාමිත් මුවාත් බව වෙදරාළත් ආරචිත් තීරණය කළ හ. මෙහි ප්‍රතිඵලය වූයේ පසුදින හේනක සිටි හින්නිහාමිටත් මුවාටත් ගැමියන් විසින් පහරදීම යි. එම අවස්ථාව නවකතාකරු පෙන්වා දී තිබෙන්නේ පාඨක සිත සානුකම්පිත හැඟීම් තුළින් පුරවාලමිනි. ඒ බව පහත නිදසුනෙන් මොනවට පැහැදිලි වේ. 

"මිනිස්සු ඈ එතනට ඇද ගෙන ගොස් සතාට කර තිබෙන දේ බලාගන්නා තුරු ඈ අල්ලා ගෙන සිටියහ. මුවා වේදනාවෙන් මොර දෙන්නට විය. පිරිස අතරෙන් එකෙක් පොල්ලක් කපා ගෙන මුවාගේ පස්සා ගාත් දෙක කැඩෙන තුරු තඩි බෑවේ ය. හින්නිහාමි මිනිසුන් අතර දැඟලුවා ය. පොර බැදුවා ය. එහෙත් කිසිවක් කර ගැනීමට ඈ පොහොසත් වූයේ නැත. අන්තිමේ දී වද දීමෙන් වෙහෙසට පත් ගම්මු හින්නිහාමි මුවා ගේ ළඟට වීසි කොට යන්ට ගියහ."

අනතුරුව මුව පැටවා මිය ගියේ ය. පසුදින හින්නිහාමි ද මළා ය. නූගත් ගැමියන්ගේ අන්ධ විශ්වාස නිසා මිනිස් ජීවිත නිකරුණේ විනාශවන අයුරු මෙයින් ධ්වනිත වේ. සිලිඳුගේ පවුල කෙරේ පාඨකයාගේ සිතේ දැඩි අනුකම්පාවක් ඉපදවීමට මෙම අවස්ථාව හේතු වේ.

                    එසේ ම හින්නිහාමිගේ එක ම සොයුරිය වූ පුංචිමැණිකාගේ මරණය ද පාඨක සිතෙහි ඇය කෙරෙහි දැඩි අනුකම්පාවක් ජනිතවන අන්දමින් නිරූපණය කිරීමට නවකතාකරු සමත් වී තිබේ. පුංචිමැණිකා වනයේ තනිවන විට මුළු වනය ම කුරිරු ලෙස ගමත් ඇගේ නිවසත් යටකරගත්තේ පාඨකයා තුළ තියුණු සංවේදනා ඇති කරමිනි. මෙතෙක් කලක් ප්‍රේම කළ සිලිඳු කෙරෙහිත් තමාට සදහට ම නැති වී ගිය බබුන් කෙරෙහිත් ඈ තුළ තිබූ ප්‍රේමය ජීවත්වීමට කරන අරගලය තුළ සිතෙන් ඈත් වී ගියේ ය. ඇය දැන් වනයේ ජීවත්වන අනෙක් සතුන් මෙන් ම බඩගින්නත් පිපාසයත් සමඟ සටන් කරන වන සතෙකු මෙන් වූවා ය. හුදෙකලා වූ ඇගේ මරණය පාඨක මනස ප්‍රකම්පනය කරමින් පුංචිමැණිකාගේ චරිතය නිරූපණය කිරීමට කතුවරයා උත්සුක වී තිබේ.

"අප්පොච්ච් ! අප්පොච්චි ! ඔන්න ආවා ! ඔන්න ආවා ! පඳුරෙ ඉඳලා යක්සයා පැන්නා. අප්පොච්චි කීවා වාගේ ම මාව අල්ලා ගන්ඩ යක්සයා ආවා. මාව බේරා ගනින් ! අප්පොච්චි ! මාව බේරා ගනින් !"

           කැලයට යට වූ කුඩා පැල්පතෙහි තනිවම සිටින පුංචිමැණිකාගේ පැල්පතට පැමිණි ලොකු කලු වල් ඌරු තඩියාගෙන් තම දිවි ගලවා ගැනීමට තමා කුඩාකල සිට දැඩි ලෙස ආදරය කළ තම පියා හට කෑ ගසමින් තමා ළඟට පැමිණ තමා බේරාගන්නා මෙන් පුංචිමැණිකා කෑ ගසන අන්දම පුංචිමැණිකාගේ චරිතය තුළින් නවකතාකරු ජනිත කරන්නේ පාඨක සිත් තුළ සානුකම්පිත හැඟීම් උපදවන අන්දමිනි.

                 උක්ත නිදසුන් මඟින් සනාථ කරන්නේ, බැද්දේගම නවකතාව තුළ චරිත නිරූපනය කිරීමේ දී සානුකම්පිත බවක් පාඨක සිත් තුළ ජනිත වීම එහි පවතින විශේෂත්වකි යන්න යි.


1 comment:

  1. බැද්දේ සොදුරු සෙනෙහස ...❤️

    ReplyDelete

විභාගය

  ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...