Saturday, 29 January 2022

ඉගිළෙන සිහින පද්‍ය පන්තිය ඇසුරෙන්....

 


          කොළඹ යුගයේ දෙවන පරපුරට අයිති කවීන් ලංකාවේ කාව්‍ය ඉතිහාසයේ වඩාත් ප්‍රචලිත වූ කවීන් පිරිසකි. දෙවැනි පරපුර හෙවත් තරුණ පරපුර නියෝජනය කරන කවීහු අතරින් සාගර පලන්සූරිය කිවිඳුන් කැපී පෙනෙන කාව්‍ය රචකයෙකි. මොහුගේ විශිෂ්ට වූ කාව්‍ය නිර්මාණ අතරේ 'ඉගිළෙන සිහින' නම් කාව්‍ය නිර්මාණය ද අගනා කාව්‍ය රචනාවකි.

          මෙම කාව්‍ය රචනාවේ දී කවියා අරමුණු කොටගෙන ඇත්තේ නිදහස නිරූපණය කිරීමයි. විවිධාකාර වූ නිදහස් සිතුවිලි අතරින් කවියා මෙම පද්‍ය පන්තියට පාදක කරගෙන ඇත්තේ කුරුලු පැටවුන්ගේ නිදහස පිළිබඳ වූ සිතුවිල්ල යි. කවියා තම වස්තුවිෂය ලෙස යොදාගෙන ඇත්තේ කූඩුවක් තුළ හැදුණු වැඩුණු කුඩා කුරුලු පැටවෙකි. මිනිසා ඇතුළු ඕනෑම සත්ත්වයෙකු වැඩි ඇල්මක් දක්වන්නේ නිදහස් ජීවීන් වීමට ය. එසේ ම ක්‍රමයෙන් වැඩෙන මෙම කුරුලු පැටවාගේ ප්‍රාර්ථනය වන්නේ ද නිල් අහස්තලයේ නිදහසේ පියාසර කිරීම ය.

          ඉගිළෙන සිහින නම් පද්‍ය පන්තිය පුරාවට ම දැකගත හැකි වන්නේ ජන කවි ව්‍යවහාරය යි. කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීන් පොදුවේ භාවිත කළ මෙම ව්‍යවහාර බස්වහර මෙම පද්‍ය පන්තියට යෝග්‍ය පරිදි යොදගැනීමට සාගර පලන්සූරිය කිවිඳුන් සමත් වී තිබේ.

          නිදහසේ ඇති වටිනාකම කියාපාන මෙම පැදි පෙළ ආරම්භ වන්නේ, කුරුලු පැටවා හැදුණු වැඩුණු පරිසරයත් එම පැටවාට තම දෙමාපියන්ගෙන් ලැබුණු සෙනෙහසත් රැකවරණයත් කෙසේදැයි සඳහන් කරමිනි.

මිනිහා නගන කටහඬ නොම වැකෙන          කනේ

ඇත මෙහි කුරුලු කූඩුව උස ගහක               බෙනේ

නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ              වුණේ

පැටවගෙ කුඩා දෙනෙතට නිල් අහස            පෙනේ

          සරල බස්වහරකින් රචිත මෙම පද්‍යය තුළින් කවියා ධ්වනිත කරන්නේ කුරුලු පැටවාට දෙමාපියන් විසින් ලැබෙන ආරක්ෂාව යි. මෙම් පද්‍ය පාදයන් කියවීමේ දී පෙනී යන්නේ මවුපිය කුරුල්ලන් තම පැටවා රැක ගැනීම පිණිස මිනිසාගේ වාසභූමුයෙන් ඉවත් වී තවත් සතෙකුට තම පැටවාට ළං වීමට නොහැකි සේ උස ගසක තම නිවහන ඉදිකර ඇති බව යි. ඒ පිළිබඳ කවියා ඉහත කවියේ මෙසේ පෙන්වාදෙයි. 'මිනිහා නගන කටහඬ නොම වැකෙන කනේ, ඇත එම කුරුලු කූඩුව උස ගසක බෙනේ.' එසේ ම මෙහි දී කවියා යොදාගෙන ඇති යෙදුමක්වන 'නැත උවදුරක්' යන යෙදුමෙන් ද පෙනී යන්නේ එම පැටවාගේ ආරක්ෂාව පිළිබඳ මවුපිය කුරුල්ලන් වඩාත් අවධානයෙන් සිටින බව යි. දෙමාපියන් කොතරම් තම දරුවන් රැකගනු ලැබුවත් දරුවන් තම නිදහස ලබා ගැනීමට කටයුතු කරන බව 'පැටවගෙ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ' යන යෙදුමෙන් කවියා පෙන්වා දී තිබේ.

          සිව්පද ආකෘතියකින් සමන්විත මෙම පද්‍ය පන්තිය තවත් රස ගැන්වීම සඳහා කවියා ව්‍යංග්‍යාර්ථය නමැති කාව්‍ය උපක්‍රමය යොදාගෙන ඇති බව පහත නිදසුනෙන් ගම්‍යමාන වේ.

උණුසුම් ගතිය ඇති මුත් සිය              කැදැල්ලෙහි

පැටවා කැමති නැත සිර වී                    විසිල්ලෙහි

දෙනෙතට නිල් අහස යොමුවන          ඇසිල්ලෙහි

ඔහු යෙදෙනවා නිදහස ගැන             සෙවිල්ලෙහි

          කුරුලු පැටවාට සිය කැදැල්ල තුළ දෙමාපියන්ගේ සෙනෙහස නොඅඩුව ලැබුණ ද එම පැටවාට තම කැදැල්ල ඔහු සිර වී සිටින සිරගෙයකි. කවියා නිරන්තරයෙන් භාවිත ක්‍ර ඇති 'නිල් අහස' යන යෙදුමෙන් කවියා නිදහස සංකේතවත් කර දක්වයි. මේ සියල්ල මඟින් ගම්‍යමාන වන්නේ කුරුලු පැටවාගේ සිතුවිලි තුළින් නිදහස සොයා යන මනස එනම් අලුත් ලොවකට පිවිසීමට ළමා මනසෙහි ඇති ආශාව කවියා ව්‍යංගයෙන් පෙන්වාදෙන ආකාරය යි.

          දෙමාපියන් තමන්ට කෙතරම් ආදරය කළත් පැටවට ඇත්තේ එක ම සිහිනයකි. එනම්, තම දෙමාපියන්ගේ රැකවරණයෙන් මිදී නිදහසේ ඉගිළීයාම ය. එම සිහිනය සැබෑවන තුරු කුරුලු පැටවාට කිසිඳු සැපතක් නොමැත.

මව්පිය කුරුල්ලන් රැකවරණය                    ඇතුව

උන්ගේ ආලයේ වෙසෙසත්                       ගජමුතුව

පැටවගෙ දෙනෙත පවතී කවදත්                   රතුව

සැපතක් ඔහුට නැත් ඉගිළෙන්නට              නැතුව

          'ගජමුතු' යනු ඉතාමත් වටිනා සම්පතකි. කවියා මෙහි දී දොමාපියන්ගේ රැකවරණය, සෙනෙහස ඇතිව ජීවත්වීම උපමා කොට ඇත්තේ ගජමුතුවලට ය. එතරම් වටිනා වූ සම්පතක් මෙම කුරුලු පැටවා සතුව පැවතිය ද පැටවා සෑම දිනක ම සිටින්නේ තම දෙනෙත රතු කරගෙන ය. ඊට හේතුව ඔහුට නිදහසේ ඉගිළීයාමට ඉඩහසර නොලැබීම යි. ඉහත කවියෙන් කවියා උත්සාහ කරන්නේ නිදහසේ ඇති වටිනාකම නිරූපණය කිරීමට ය.

          නිදහස සොයා පියඹායාමට උත්සාහ කරන පැටියාට තමා දෙමාපියන්ගේ රැකවරණය යටතේ ජීවත්වීම පෙනීයන්නේ සිරගෙයක සිරවී සිටින්නාක් මෙනි. එවැනි අවස්ථාවක දී එම පැටවාට කුඩා නිදහසක් ලැබුණ ද ඔහුට එය මහමෙරක් වැන්න. එම පැටවා තුළ තිබෙන්නා වූ මෙම සිතුවිල්ල නිසා ම තමාගේ නිවස තුළට වඩා පිටත හොඳ බව පෙනෙයි. නමුත් එම කුඩා පැටවාට පිටත තිබෙන කුරිරු බව වැටහෙන්නේ නැත.

අරුණලු වැටෙයි පොඩි සිදුරෙන් කුරුලු          ගෙට

ගී හඬ පිටත් වෙයි රුක්ලිය මුදුන                       සිට

කවුළුව තුළින් එළියට හිස දමන                         විට

හොඳ බව පෙනෙයි මෙහි ඇතුළට වැඩිය           පිට

           ඉහත නිදසුන දෙස බලන විට පෙනී යන්නේ කුරුලු පැටවාට නිදහස කොතරම් සැනසිලිදායක ද යන්නයි. එසේ ම තම අරමුණවන නිදහසේ වටිනාකම පෙන්වාදීමට උත්සුකවන මෙම කවියා මෙම පද්‍ය පන්තිය තුළ එළිවැට රැක ගැනීමට ද සමත් වී තිබේ. ඉහත නිදසුනේ ඇති ' ගෙට, සිට, වට, පිට ' යන පදවලින් එය වඩාත් හොඳින් විද්‍යමාන වේ. එපමණක් නොව එම පද තුළින් මෙම පැදිපෙළෙහි තිබෙන්නා වූ ශබ්ද රසය ද මොනවට පැහැදිලි වේ.

         සාගර පලන්සූරිය කිවිඳුන් මෙම පද්‍ය නිර්මාණය අවසන් කරන්නේ පාඨකයාගේ සිතෙහි තියුණු කම්පනයක් ඇති කරමිනි.

මවුපිය කුරුල්ලන් ආහර රැගෙන                 කටින්

ආවා පුරුදු ලෙස පැටියා දකින                        අටින්

දුටුවා හිස්ව ඇති බව ගෙය එහෙම               පිටින්

පැටවා ගිහින් එළි වෙන කොට හතර            වටින්

           මවුපියන් වෙනදා මෙන් ම ආදරයෙන් තම පැටවාගේ කුසගින්න නිවීමට ආහාර රැගෙන එන අවස්ථාවේ දී ඔවුන් දකින්නේ හිස් වූ කූඩුවකි. මෙහි දී කවියා පෙන්වා දෙන්නේ පැටවා තමාගේ නිදහස සොයාගෙන ගොස් ඇති ආකාරය යි.

          දෙමාපියන් කොතරම් සෙනෙහසින් තම දරුවන් රැකබලා ගත්ත ද දරුවන් තම නිදහස සොයා යන ගමන්මාර්ගය දෙමාපියන්ට වසා දැමිය නොහැකි ය. සහෘද සිත් සංවේදී කරමින් ඉතාමත් සාර්ථක ලෙස නිර්මාණය කොට ඇති මෙම නිර්මාණයෙන් කවියා ධ්වනිත කරන්නේ මවුපියන් කෙතරම් සෙනෙහසින් තම දරුවන් ඇතිදැඩි කළත් ඔවුන් තම නිදහස් ලෝකය කරා යාමෙන් වැළැක්විය නොහැකි බව යි.

1 comment:

විභාගය

  ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...