Thursday, 4 November 2021

බොඳ වූ සිහිනය

 


කඩුල්ල පැනලා
ගියර දමාගෙන
සුක්කානමකුත් හිතින් මවාගෙන
මම ම හදාගත්
වාහනයක් තුළ
අකුරට ගියෙ මම
ජයක් ලබන්නට

අත් දිග කමිසය
කළු දිග කලිසම
දිළිසෙන සපත්තු
ඇඳගෙන උදයම
උජාරුවට එන ගුරුවරු දුටුවම
බලාපොරොත්තුවක් තිබුණා
මා හට
කෙදිනක හෝ මම යනවා
එතැනට

වෙනදා මෙන් පාසල වෙත යන්නට
අම්මට වැඳලා තාත්තා වැඳුමට
ගිය විට දුටුවේ
තාත්තා නිදි බව
තාත්තෙ තාත්තෙ කතා කළා මම

නැත ඔහු බැලුවේ
ඇස් හැර මා දෙස
නුපුරුදු හැඟුමක්
දැනුනා මා හට

කාලය ගෙවෙන්නෙ
අග හිඟකම් මැද
ඉවසනු නොහැකිය
අම්මා විඳින දුක
නංගී මල්ලී රජ කරවන්නට
අතහැර දැමුවෙමි
මම මගෙ සිහිනය

හෙට සිට උදයම
පාසල වෙත නොව
මම දිව යන්නේ,
වැඩපොළ
වෙතටය...
            

Wednesday, 3 November 2021

රැය

 


ඝණ අන්ධකාරය,
නිවි නිවී දැල්වෙන 
කදෝපැණි එළි,
තොරතෝංචියක් නැති
පළාපෙතියන්ගේ සීපද,
කොතරම් සුන්දර ද
පද වැල් ගොතන
කවියෙකුට...


හීන දැක්කා මමත්,

 


රතු පාට මල් පිරුණු
මැයි මාර ගසක් යට
සෙමින් මිමිණූ වදන්
එක්වරම,
මහා වැසි වරුසාවක් මෙන්
දරුණු වී ඇදහැලුණු පසු
ඉතාමත් කුළුපගව
සිනා කැන් මුසුකොට
ගෙවී ගිය සුන්දර ම
අතීතය,
අමතක වූයේ කෙසේද
එම වචන දෙක තුනට

දුක සතුට බෙදාගෙන
පියමැන්නෙ අපි එකට
ඉතා සුළු මොහොතකින්
දෙතැනකට වෙන්නටද

එදා පියමං කළ
සොඳුරු මංමාවත් දිග
තවමත් මා,
තනිකමත්
පාළුවත්
දොම්නසත්
පොදි බැඳන්
සොය සොයා ඇවිද යමි
වැරදුනේ කොතැනකද

අන් සියලු දෙනා මෙන්
රංතාලිය වැව පාමුළ
හීන දැක්කා මමත්,
ඔබ ළඟ ම සිටින්නට
ජීවිතය පුරාවට...





Monday, 1 November 2021

ජීවිතය...

 


කිසිවෙක් නොහඳුනන
ලොවකට පිවිස
පළමුව හඳුනාගත්
මව පියා නැමති
නෙතු පියන් හැර
ඒ දෙනෙතින් ලොව බලා
අතරමංව සිටින
වනරොදින් පිටවීමට
කඳුවැටි
බෑවුම්
පසු කරමින්
හති දමා ඇවිද ගොස්,
අවසානයේ
දිනක් ඒවි,
දෙපා වාරු නැතිව
වෙහෙසට පත්ව
ඒ ගමන 
නිමා කරන
එයයි,
ජීවිතය...

විභාගය

  ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...