Sunday, 1 October 2023

විභාගය


 

ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට

උදාවන තුරු එදින

දැනේවි පාළුව මසිතට

සිහිවෙද්දි ගෙදර

දුවන් යන්නට හිතුන වාර ද

අනන්තයි ඒ මොහොතෙ මා හට

හිත හදාගමි මම ම හිතමින්

සිහිනයයි මෙය සැමදෙනාගෙ ම

නේක වර්ණෙන් පාට කෙරුමට

දුෂ්කරයි ඒ දකින සිහිනය

නමුත් වෙමි මම සිත්තරාවිය

නිමා කරමින් කෙසේ හෝ එය...


Sunday, 29 January 2023

හුස්ම - තෙවන කොටස

 කුඩා කළ සිට මාගේ බලාපොරොත්තුව වූයේ ගුරුවරියක් වීම යි. මාගේ පමණක් නොව මාගේ අම්මාගේ ආශාව වූයේ ද මා ගුරුවරියක්වනවා දැකීම ය. 

"ගැහැණු ළමයෙකුට හොඳ ම රස්සාව තමයි ගුරුවරියක් වීම. නිදහස් රස්සාවක්නෙ... කවද හරි මගේ පුතා සාරියකුත් ඇඳලා ලස්සනට චූටි ටීචර් කෙනෙක් වෙලා ඉස්කෝලෙක අහිංසක ළමයි ටිකකගෙ ඇස් පාදන්න යනව දකින එක තමයි මගෙ ලොකු ම ආසාව... මගේ පුතාලා කාටත් බරක් නොවී  හොඳ තැනක ඉන්නව දැක්කොත් මට ඒ ඇති. වෙන මොකුත් ඕනෙ නෑ... අපිට කන්න බොන්න නැතත් කමක් නෑ.... කොහොම හරි මගේ පුතාලට උගන්නන්න දඟලන්නෙ අපි අන්න ඒක්ටයි... හොඳින් ඉගෙනගනින් පුතේ... එතකොට උඹලට දුක් විඳින්න ඕනෙ නෑ... ඒ දිහා බලලා අපිටත් සතුටින් ඇස් දෙක පියාගන්න පුළුවන් එතකොට...."

මේ මාගේ අම්මා නිතර කියූ දෙබසකි. මා කුඩා කළ සිට අම්මා මෙසේ කියන්නේ ඇගේ දෙනෙතේ කඳුළු පුරෝගනිමිනි... ඒ දර්ශනය මගේ සිතේ තැන්පත් වී තිබේ... මා අද ගුරුවරියක් කළේ මේ වචන කිහිපයත් මගේ අම්මාගේත් අප්පච්චීගේත් දුක් මහන්සියත්  ය.

...............................................................................

මා විශ්වවිද්‍යාල වරම් ලැබූ පුවත ඇසූ මාගේ දෙමාපියන් තුළ එදා හටගත් ඒ සතුට, එදින ඔවුන්ගේ හැසිරීම මට අදටත් මැවී පෙනේ... 

"මගේ පුතාලට වරදින්නේ නෑ..."

එදා සතුටු කඳුළු වගුරවමින් අම්මාත් අප්පච්චීත් දෙදෙනා ම එක ම මොහොතේ මෙසේ කීවේ මාගේ නෙතට ද කඳුළක් ගෙන්වමිනි...

...............................................................................

මාගේ මව ඇඟලුම් කර්මාන්තයක සේවිකාවක් ලෙස සේවය කළා ය. අප්පච්චීගේ රැකියාව වූයේ රෝහලක ආරක්ෂක නිළධාරියෙකු ලෙස කටයුතු කිරීම යි. 


Saturday, 28 January 2023

හුස්ම - දෙවන කොටස

 අම්මේ... අම්මේ...

මද වේලාවක් අතීතයේ සිරවී සිටි මා පියවි සිහියට පැමිණියේ චූටි පුතාගේ කෑ ගැසීමත් සමඟ ය. 

මම මගේ දරුවන් දෙදෙනාගෙන් මාගේ අතීතය දකිමි. මගේ අම්මාට මෙන් මට ද සිටින්නේ දුවයි පුතයි. මමත් මල්ලීත් ගත කළ ඒ සුන්දර ළමා කාලය මගේ දරුවන් දෙදෙනා තුළින් මා විඳින්නේ ඒ නිසා විය හැකි ය. මාගේ සැමියා වෛද්‍යවරයෙකි. සුදත් වන ඔහු මට පළමුවරට මුණ ගැසුණේ විශ්වවිද්‍යාලයේ නාට්‍ය උත්සවයක් බැලීමට ගිය අවස්ථාවේදී ය.

කලා මාධ්‍යයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි මා අද ගුරුවරියෙකි. උසස්පෙළ විභාගයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමුවන වසරේ මා අධ්‍යයන කටයුතු සිදු කරන විට සුදත් සිටියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ අධ්‍යයන කටයුතු සිදු කරමිනි.

එක් දිනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වලේ පැවැත් වූ නාට්‍ය උත්සවයක් නැරඹීමට පැමිණ අහම්බෙන් මුණ ගැසුණු ඔහු හා මාගේ ජීවිතය තුළ එදා සිට අප දෙදෙනා විවාහ ජීවිතයට පැමිණෙන තෙක් ඉතාමත් සුන්දර අතීත කතාවක් ලියැ වී ඇත.

ඒ අතීතය කෙතරම් සුන්දර ද?...

කාලය ගත නොවී ඒ සුන්දර කාලය තුළ ම ජීවත් වීමට තිබුණානම් කෙතරම් හොඳදැයි මා හට සිතෙනා වාර ගණන කියා නිම කළ නොහැක. එසේ වූවානම් අප පමණක් නොව මාගේ දෙමව්පියන් ද ශරීර ශක්තියෙන් යුතුව නීරෝගීමත්ව සතුටින් කාලය ගතකරන අයුරු දැක එදා මෙන් ම අදත් මට සතුටු වීමට තිබූ වාර අනන්ත ය... 

..........................................................................................

විභාගය

  ඇඟිලි ගනිනෙමි අවැසි දිනයට උදාවන තුරු එදින දැනේවි පාළුව මසිතට සිහිවෙද්දි ගෙදර දුවන් යන්නට හිතුන වාර ද අනන්තයි ඒ මොහොතෙ මා හට හිත හදාගමි මම ...